විදුලි මිල සංශෝධනයෙන් පසු වෙළෙඳපොළේ භාණ්ඩ හා සේවා මිල ගණන් ආසන්න වශයෙන් 20% කින් අඩුවීමට ඉඩ ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
නව විදුලි ගාස්තු සංශෝධනය ජූලි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් මීළඟ සංශෝධනය ඔක්තෝම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත බවත් ඇමැතිවරයා කීය.
“සෑම වසරකම ජනවාරි, අප්‍රේල්, ජූලි සහ ඔක්තෝබර් මාසවලදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. මාර්තු මාසයේ මිල ගැලපීමෙන් පසුව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අප්‍රේල් වෙනුවට ජූලි සංශෝධනයක් ඉල්ලා සිටියා. ඒ නිසා නව විදුලි ගාස්තු සංශෝධනය ජූලි 16 වැනිදා සිට ක්‍රියාත්මක වෙනවා. මීළඟ සංශෝධනය ඔක්තෝම්බර් මාසයේදී සිදුකිරීමට නියමිතයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙම ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකක 90 ට අඩු විදුලිය භාවිත කරන පාරිභෝගිකයින්ට වැඩිම සහන සැලසී ඇති අතර, විශේෂයෙන්ම මෙම කාණ්ඩයේ 79%ක නිවාස සඳහා ප්රතිලාභ හිමිවන බව අමාත්‍ය විජේසේකර මහතා අනාවරණය කළේය.
“මෙම විදුලි ගාස්තු සංශෝධනයේදී කර්මාන්තශාලා සහ කුඩා ව්‍යාපාර සඳහා සැලකිය යුතු 20%ක මිල අඩුවීමක් සිදුවී තිබෙනවා. මෙම අඩු කිරීම කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් විදුලි මිල ඉහළ යන රාත්‍රියේම ඉහළ යන භාණ්ඩ හා සේවා මිල ඒ ආකාරයටම අඩුවනු ඇතැයි සිතිය නොහැකියි.
ඒ නිසා මේ වසරේ විදුලි පිරිවැය සැලකිය යුතු ලෙස අඩුවීමත් සමඟ සමස්ත වියදමෙන් අවම වශයෙන් 20% ක අඩුවීමක් ඇති කර ගැනීමේ හැකියාව ඇතිව මෙම ඉතිරිකිරීම්වලින් ප්‍රයෝජන ගන්නා ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විදුලි මිල සංශෝධන ඉදිරි මැතිවරණවලට සමගාමීව සිදු වූ බවට එල්ල වන විවේචනවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ 2022 දී විධිමත් ක්‍රියාවලියක් හරහා එම ප්‍රතිපත්ති සකස් කළ බවයි.