ඉදිරි වසර හතරක කාලය තුළ ධවල මන්දිරයේ රැඳී සිටින්නේ කවුරුන්ද යන්න තීරණය කෙරෙන ඇමරිකානු ජනාධිපතිවරණය ශ්‍රී ලංකා වේලාවෙන් අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
විදෙස් වාර්තා සඳහන් කළේ ජනාධිපතිවරණය සඳහා පුරවැසියන් මිලියන 78ක් මේ වන විට කලින් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි.
ජනාධිපතිවරණයට ඇත්තේ පැය කිහිපයක් පමණක් වුවද ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති කමලා හැරිස් තවමත් සිටින්නේ උණුසුම් මැතිවරණ සටනක බව එම වාර්තා පෙන්වා දෙයි.
ජනාධිපතිවරණ ප්රචාරක රැලිවලදී කමලා හැරිස් සමඟ ලොව ප්‍රකට ඇමරිකානු තරු වන බියොන්සේ, ටේලර් ස්විෆ්ට්, ජෙනිෆර් ලෝපෙස් පෙනී සිටියදී ට්‍රම්ප් සමග ටෙස්ලා සමාගමේ සහ X සමාජ මාධ්‍ය ජාලයේ හිමිකරු වන ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් ද ට්‍රම්ප්ට සහය පළ කළහ.
ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ප්රචාරක වැඩසටහන් සඳහා එලොන් මස්ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක් පරිත්‍යාග කිරීමද විශේෂත්වයකි.
මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයින් මිලියන 186.5ක් සුදුසුකම් ලබා ඇත.
අරාබි අමෙරිකානුවන් වැඩි පිරිසක් දිවි ගෙවන තීරණාත්මක ප්‍රාන්තයක් වන මිචිගන්හි සිය අවසන් ප්‍රචාරණ රැලිය උප ජනාධිපති කමලා හැරිස් පැවැත්වූයේ, ගාසා තීරය සහ ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට බයිඩ්න් පරිපාලනය සහය දෙන පසුබිමකයි. රිපබ්ලිකන් පක්ෂ ජනපති අපේක්ෂක හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අවසන් මැතිවරණ ප්රචාරක රැළිය පැවැත්වූයේ තීරණාත්මක පෙනිසිල්වේනියා ප්රාන්තයේදීයි.
ඉදිරි වසර 4 තුළ ඇමරිකාව පාලනය කරන්නේ, එරට ඉතිහාසයේ පළමු ජනාධිපතිනිය ද දෙවැනි ධුර කාලය ආරම්භ කරන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද යන්න ලොව පුරා කාගේත් අවධානයට ලක්ව තිබේ.