
ලෝකයේ ඉපැරණිම රැකියාවන් සම්බන්ධයෙන් ගවේෂණය කලහොත් ගණිකා වෘත්තිය එහි හිණි පෙත්තෙහිම වැජඹෙන වෘත්තියක් බව බොහෝ ප්‍රසිද්ධ කරුණක්. කොටින්ම බ්‍රහ්මදත්ත රජ සමය තුළදී ප්‍රසිද්ධ ගණිකාවන් තමන්ගේ නුවර වාසය කිරීම, මුළු රාජධානියටම ගෞරවය අත්කර දෙන කාරණාවක් විදියට රජතුමා සලකලා තියෙනවා කියලයි ඉතිහාසය සාක්ෂි දරන්නේ. එවක රාජ නීතිය හරහාම ගණිකා වෘත්තීයෙහි වටිනාකම් තක්සේරු කරමින් වැටුප් තීරණය කොට ගණිකාවන්ගේ ශ්‍රමික අයිතීන් පවා ආරක්ෂා කිරීමට කටයුතු කරලා තියෙනවා.
වර්තමාන ලෝකය තුළ ගණිකා වෘත්තිය නීතිගතව ක්‍රියාත්මක වන රටවල් තිබුණද, ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් ගණනාවක ගණිකා සේවයේ නියැළීම,ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යාම,යමෙකු ගණිකා සේවයෙහි යෙදවීම සහ යෙදවීමට තැත් කරවීම පවා නීතියට පටහැනි ක්‍රියාවන් ලෙසටයි සලකන්නේ.

එවන් වටපිටාවක් තුළ අද කතාව දිග හැරෙන්නේ ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීමෙහිලා බෙල්ජියම ලොව ප්‍රථම වරට හඳුන්වා දුන් නීතියක් සම්බන්ධවයි. ලොව පුරා ලිංගික ශ්‍රමිකයින් මිලියන පනස් දෙකක් පමණ සිටින බව ලිංගික ශ්‍රමිකයින්ගේ ජාත්‍යන්තර සංගමය පෙන්වලා දෙනවා.
ජර්මනිය, තායිලන්තය, කැනඩාව, බ්‍රසීලය, මෙක්සිකෝව හා මෑතකදී ගණිකා වෘත්තීය නීතිගත කරන ලද ඉන්දියාව වැනි රටවල මෙන්ම, ගණිකා වෘත්තීය නීතිගත නොවන ප්‍රංශය, අයර්ලන්තය, ස්වීඩනය, ලිතුවේනියාව වැනි රටවලට මේ මිලියන පනස් දෙකට අයත් ප්‍රජාව විසිරි පැතිරී සිටිනවා.

2022 වර්ෂයේදී මෙම වෘත්තිය සාපරාධී රැකියා ලැයිස්තුවෙන් ඉවත් කරන්නට බෙල්ජියමේ කටයුතු කළා. ලෝකයේ විවිධ රටවල විවිධ ජන සමාජවල කිනම් මතවාද පැවතියත් ගණිකා වෘත්තිය තුළ නියැලෙන්නන්ද සාමාන්‍ය මිනිස්සු බවත් ඔවුන්ටද සාමාන්‍ය මානව අවශ්‍යතාවයන් පැන නගින බවත් ඔබට මට තේරුම් ගැනීමට අපහසු කරුණක් නම් නොවේ.
ගණිකා වෘත්තිය නීතිගත රටවල් කෙතරම් තිබුණත් ඉහත කී මානුෂීය කාරණාව හොඳින් තේරුම් ගන්නා බෙල්ජියම, ලෝකයේ පළමු වරට ලිංගික ශ්‍රමිකයින්ට නිල රැකියා කොන්ත්‍රාත්තු, සෞඛ්‍ය රක්ෂණය, විශ්‍රාම වැටුප්, මාතෘ නිවාඩු සහ අසනීප දින සඳහා වන හිමිකම් ලිංගික ශ්‍රමිකයින්ට ලබාදීමට අවශ්‍ය නීත්‍යානුකූල විධිවිධාන සකස් කිරීමට කටයුතු කරනවා.
මෙයින් ඉස්මතු වන්නේ අනෙක් සෑම රැකියාවන්ට, වෘත්තිකයන්ට හා සමානවම බෙල්ජියම ලිංගික වෘත්තීයටද සැලකීමට මැලි නොවන බවයි. .

මෙවන් තීරණ සඳහා, ලිංගික ශ්‍රමිකයින් සඳහා වන බෙල්ජියම් සංගමය වන Utsopi පවා සාධනීය දායකත්වයක් ලබා දී ඇති බවත් සඳහන් කළ යුතුයි.
මේ පෙරළිකාර තීරණය සම්බන්ධව හියුමන් රයිට්ස් වොච් ආයතනයේ අදහස නම්,
“මෙය රැඩිකල් පියවරක් වන අතර එය ලෝකයේ ඕනෑ ම තැනක මෙතෙක් අප දැක ඇති හොඳ ම පියවර” බවයි.