නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන පීඩන අවපාතය අද (29) න් පසු දිවයිනේ කාලගුණයට එහි බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අද උදෑසන නිකුත් වූ නවතම කාලගුණ අනාවැකියෙන් මේ බව දැක්වෙයි.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් ඊසාන දෙසින් සහ කන්කසන්තුරයට කිලෝමීටර් 290ක් නැගෙනහිරින් ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.
එය වයඹ දෙසින් තමිල්නාඩු වෙරළට ගමන් කිරීමට වැඩි ඉඩක් පවතින බව අනුමාන කෙරේ.
ඒ අනුව, දිවයිනේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් අද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු පළාතේ ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වඩා ඉහළ අගයක් ගත හැකිය.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
උතුර, උතුරු මැද, වයඹ, නැගෙනහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 60 ක පමණ තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටියි.