මීට වසර 27 කට පෙර රාජාංගන ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට උතුරුමැද පළාතේ පූර්වගාමී මහාධිකරණ විනිසුරු සහ වත්මන් කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා නියෝග කළේය.
මෙසේ නිදොස් කොට නිදහස් කළේ රාජංගණයේ පදිංචිකරුවන් වන දැදිගමගේ ප්‍රේමසිරි නොහොත් උක්කුවා සහ කේ. වසන්ත කුමාර නොහොත් කේ. වසන්ත නමැති විත්තිකරුවන්ය.
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බැවින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බව ප්‍රකාශ කළේය.
1997 ඔක්තෝබර් 29 හෝ ඊට ආසන්න දිනකදී විත්තිකරුවන් විසින් අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයේ රාජාංගනයේදී මෙම වරද සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණි.