මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (30) ආරම්භ වී ඇත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභා කාර්යාල, පොලිස්පති කාර්යාල ඇතුළු සියලුම පොලිස් ස්ථානවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
අදට අමතරව නොවැම්බර් 04 වැනිදා තැපැල් ඡන්දය සලකුණු කිරීමට ද අදාළ කාර්යාල අවස්ථාව ලබාදී තිබෙනවා.
ඊට අමතරව ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ අනෙකුත් සියලුම රාජ්‍ය ආයතනවල තැපැල් ඡන්ද සලකුණු කිරීම නොවැම්බර් මස පළමුවැනිදා සහ නොවැම්බර් 04 වැනිදා සිදුකිරීමට අවස්ථාව ලබාදී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා.
අදාළ දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට තම සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ගොස් තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබා දී ඇත.
තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා සංවිධාන හැඳුනුම්පත භාවිත කළ නොහැකි බව සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.
භාවිත කළ තැපැල් ඡන්ද සංචිත පැකට් ලබා ගැනීම අද සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ මෙවර මහ මැතිවරණයේදී තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන බවයි.