ඊයේ (24) පස්වරුවේ ප්‍රදේශවාසීන් පිරිසක් පමුණුගම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකු තමන්ට අමානුෂික ලෙස පහර දුන් බවට චෝදනා කරමිනි.
මේ හේතුවෙන් පොලිසිය අසළ උණුසුම් තත්ත්වයක් ද හටගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට පොලිස් නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බවට චෝදනා කරමින් ඊයේ පස්වරුවේ ගම්වාසීන් පිරිසක් බෝපිටිය පමුණුගම පොලිසිය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
පසුගිය ඉරිදා දින බෝපිටිය පමුණුගම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී රන් මාලයක් සොරකම් කළ බවට සැකපිට මෙම තරුණයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
තරුණයන් දෙදෙනා සීදූව ප්‍රදේශයේ රැකියා ස්ථානයේ සේවය කරමින් සිටි අයයි.
ඔවුන් පමුණුගම සහ සෙට්ටප්පඩුව ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 සහ 24 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක්.
කෙසේ වෙතත් රන් මාල සොරකම්වලට සම්බන්ධ නැති මෙම තරුණයින් දෙදෙනාට පොලිසිය අමානුෂික ලෙස පහර දුන් බවට දෙමාපියන් සහ ගම්වාසීහු චෝදනා කරති.
පසුව දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පහරකෑමට ලක්වූ තරුණයින් දෙදෙනා රාගම ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන බවට දුන්ගල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පොරොන්දු වීමත් සමඟ පිරිස විසිර ගොස් තිබෙනවා.