වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරී වලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළා යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවක විත්තිකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබුවා.
එම අවස්ථාවේදී නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනා අධිකරණයේ පෙනී සිටි නමුත් පළමු විත්තිකරු ලෙස නම් කර ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ අභියාචනය සලකා බලා ගොනු කළ රිට් පෙත්සමකට අදාළව ඊයේ ලබාදුන් පොරොන්දුවකට අනුව තම සේවාදායකයා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති බවයි.
එම ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රශ්න කළේ විත්තිකරු නඩුවට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබාදීමට යන්නේ කෙසේද යන්නයි.
විත්තිකරුගේ නඩුවට ප්‍රමුඛත්වය දිය යුතු බව පැවසූ විනිසුරුවරයා ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වමින් අභියාචනාධිකරණය කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව පෙනී යයි.
අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ විත්තිකරුට වරෙන්තු නිකුත් කරන ලෙසයි.
ඒ අනුව විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් විත්තිකරු ඉදිරිපත් කළ කරුණු පිළිගත නොහැකි බැවින් ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළේය.
ඉන් අනතුරුව නඩුව ජනවාරි 27 වැනිදා කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්ෂිකරුවන්ට අවවාද කළේය.