මේ වසරේ අවස්ථා දෙකකදී ගංවතුර තත්ත්වය ඇති වූ බවත් එම නිසා නිතර සිදුවන ගංවතුර පාලනයට නිශ්චිත තිරසාර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (14) ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීය.
අයහපත් කාලගුණයෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම සහ කළුතර යන ප්‍රදේශවල ජනතාවට කඩිනම් සහන සැලසීමටත්, ඉන් අනතුරුව සිදුවූ දේපළ හානි යථා තත්ත්වයට පත් කිරීමටත් ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දැනටමත් වෙන් කර ඇති අතිරේක රුපියල් මිලියන 50 ට අමතරව අවශ්‍ය නම් තවත් මුදල් වෙන් කරන ලෙස ද ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
මේ වසර මුලදී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දේපළවලට පූර්ණ හානි සිදු නොවූ ජනතාවගේ ගැටලු සොයා බලා අදාළ වන්දි ලබා දෙන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.