ඉදිරි දින කිහිපයේදී ප්‍රමාණාත්මක වැසි තත්ත්වයේ අඩුවීමක් දක්නට ලැබිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණවිද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ අද (14) දිනයේ සහ හෙට (15) දිනය වන විට මි.මී 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි.
එමෙන්ම, පසුගිය 11 සහ 10 යන දෙදින තුළ ඇතැම් ප්‍රදේශවලින් මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වූ බවද ඔහු සඳහන් කළේය.
වත්මන් ආපදා තත්ත්වය සහ ආපදා සහන සැලසීමේ වැඩසටහන පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉදිරි 16 සහ 17 දෙදින තුළ වර්ෂාපතනයේ සැලකිය යුතු අඩුවීමක් අපේක්ෂා කළ හැකි නමුත් ඉදිරි සතිය වන විට අන්තර් මෝසම් කාලගුණයේ සාමාන්‍ය ලක්ෂණය වන සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
මේ අතර, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ) කේ.පී. ධර්මතිලක මහතා වැඩිදුරටත් පැවසුවේ, ආපදාවට ලක්වූවන් සඳහා ජනාධිපතිවරයා විසින් අද දින තවත් රුපියල් මිලියන 50ක මුදලක් ලබාදී ඇති බවයි.
“මෙම ආපදාව නිසා මරණ තුනක් වාර්තා වෙනවා. තුවාල සිදුවීම් දෙකක් වාර්තා වෙලා තියෙනවා. පූර්ණ නිවාස හානි එකක්. අර්ධ නිවාස හානි 405ක් වාර්තා වෙනවා. වැඩිපුරම බලපෑම් කරන්නේ, කොළඹ, කළුතර,ගම්පහ සහ පුත්තලමට තමා වැඩි පීඩායක් වෙලා තියෙන්නේ. සුරක්ෂා නිවාසවල අපි රැකවරණය දෙන 10,369ක් වූ සාමාජිකයින්ට අවශ්‍ය පිසූ ආහාර, වෛද්‍ය පහසුකම් හා කුඩා දරුවන්ට කිරි, වැඩිහිටියන්ට තේ ලබාදෙනවා. ඔවුන්ව සුරක්ෂිතව තබා ගැනීමට රජය විශේෂ කැපකිරීමක් කරනවා. විශේෂයෙන්ම ජනාධිපති තුමා අද දිනයේ තවත් මිලියන 50ක් වෙන් කළා මේ වැඩකටයුතු සඳහා. මේ වනවිට අපි ප්‍රධාන පීඩාවට පත්වූ දිස්ත්‍රික්ක 4 තුළ අපි මිලියන 33ක් දිසාපතිවරුන්ට ලබාදී තිබෙනවා.”
මේ වසරේ අවස්ථා දෙකකදී ගංවතුර තත්ත්වය ඇති වූ බවත් ඒ අනුව නිතර සිදුවන ගංවතුර පාලනයට නිශ්චිත සහ තිරසාර වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (14) පැවැති සාකච්ඡාවේදීය.
අයහපත් කාලගුණයෙන් විපතට පත් කොළඹ, ගම්පහ, පුත්තලම සහ කළුතර ප්‍රදේශවල ජනතාවට කඩිනම් සහන සැලසීමටත්, ඉන් අනතුරුව සිදුවූ දේපළ හානි යථා තත්ත්වයට පත් කිරීමටත් ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා දැනටමත් වෙන් කර ඇති රුපියල් මිලියන 50 ට අමතරව තවත් මුදල් වෙන් කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.
මෙම වසර මුලදී ඇති වූ ගංවතුර තත්ත්වයෙන් දේපළවලට පූර්ණ හානි සිදු නොවූ ජනතාවගේ ගැටලු සොයා බලා ඊට අදාළ වන්දි ලබාදීමට ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.