බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත හෝමාගම මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් චීවරධාරියෙකු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රාජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (03) නියෝග කළාය.
මෙලෙස සිරගත කරනු ලැබුවේ හෝමාගම – කටුවන – දූවවත්ත පාර ප්‍රදේශයේ අසපුවක් නමින් පවත්වාගෙන යන ස්ථානයක සේවය කළ ‘බලනවිජිත’ නමැති චීවරධාරියෙකි.
මෙම චීවරධාරියාට එරෙහිව මීට පෙර ද බාලවයස්කාර පිරිමි දරුවකු අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇප මත සිටින අයෙකු බවත්; අලව්ව පොලිස් වසමේ ඒ ආකාරයෙන්ම පිරිමි දරුවකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ද හෝමාගම පොලිස් ස්ථානය මගින් අධිකරණය වෙත කරුණු අනාවරණය කෙරුණා.
මෙලෙස ලිංගික අපයෝජනයට ලක් වූ 16 හැවිරිදි පිරිමි දරුවාගේ හඳහන අනුව එම දරුවාට ශාන්තිකර්මයක් කළ යුතු බව එම දරුවාගේ දෙමාපියන්ට පවසා එම දරුවා රැගෙන විත් අසපුවේ තබා ගනිමින් ලිංගික අතවර කිරීමට සැරසී ඇත.
පසුව දරුවා සිරකර සිටි කාමරයෙන් පැන ගොස් චීවරධාරියා විසින් ලිංගික අතවර කළ බව දරුවාගේ මවගේ ඥාතියකුට පවසා ඇත.
මේ අනුව සැකකාර චීවරධාරි අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කිහිප වතාවක්ම අසපුවට ගියද සැකකාර චීවරධාරි පලාගොස් ඇති අතර එහිදී පොලිස් අධිකරණය හමුවේ කරුණු අනාවරණය විය.
සති තුනක පමණ කාලයක සිට ප්‍රදේශයෙන් පලාගොස් සිටි සැකකාර චීවරධාරියා නීතිඥවරයකුද සමඟ හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණ භාර වූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පැවැසීය.
සැකකාර චීවරධාරිය වෙනුවෙන් නීතිඥ සුමිත් පරාක්‍රම, සමන්ත සුදෙස්ප්‍රිය, කපිල කිසිරි සහ එරන්දි කෞෂලයා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය පෙනී සිටියේය.