ප්‍රදේශ තුනකදී සිදුවූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
මහදෙණිය, පලාලි සහ ඉබ්බාගමුව ප්‍රදේශවලදී මෙම මාරක රිය අනතුරු සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඊයේ (29) උදෑසන මීගොඩ කොළඹ පාදුක්ක 125 මාර්ගයේ මහදෙණිය ප්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ යතුරුපැදියක හදිසියේ ගැටී එක් යතුරුපැදියක් මාර්ගය අසළ ඇළකට වැටී තිබෙනවා.
අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් යතුරුපැදිකරුවෙකු ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
එමෙන්ම ඊයේ පෙරවරුවේ පලාලි පේදුරුතුඩුව කන්කසන්තුරය මාර්ගයේ 36 වන කිලෝමීටර් කණුව අසලදී පේදුරුතුඩුව දෙස සිට කන්කසන්තුරය දෙසට ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා තෙලිප්පලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ පලාලි ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.
එමෙන්ම කුඹුක්ගැටේ ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේ කිලෝමීටර් 05 කණුව අසලදී ඉබ්බාගමුව සිට මඩගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී ඇත.
අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී යතුරුපැදිකරු මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ උලේගම, කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි දොරටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 38 හැවිරිදි පොලිස් කොස්තාපල් රියදුරෙකි.
බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුඹුක්ගැටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි