ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයේ ප්රමුඛ කාර්යයක් වන දූෂණ හා අක්‍රමිකතා මැඩලීමේ ප්රයත්නයන්ට පූර්ණ සහයෝගය ලබාදීමට ජපාන රජය කැපවී සිටින බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Mizukoshi Hideaki තහවුරු කරයි.
ශ්‍රී ලංකාව සමඟ සමීප සහයෝගීතාවක් පවත්වාගෙන යාමටත් ඔහු සූදානම් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
තානාපති මිසුකෝෂි මහතා මේ අදහස් පළ කළේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සමඟ ඊයේ (26) පැවැති හමුවකදීය.
ජපාන රජයේ අරමුදල් මත ඇණහිට ඇති ව්‍යාපෘති 11 ක වැඩ කඩිනමින් ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් නිවේදනය කළේය.
ඒ අනුව, මහනුවර නගර ජල කළමනාකරණ ව්‍යාපෘතිය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සංවර්ධන ව්‍යාපෘතියේ II අදියර, භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය, ජාතික සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල සංවර්ධන ව්‍යාපෘතිය, අනුරාධපුර උතුරු ජල සම්පාදන ව්‍යාපෘතියේ II අදියර, යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය, කළුගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය හා වෛද්‍ය සේවා වැඩිදියුණු කිරීම මෙම ව්‍යාපෘති අතර වේ.
ජපාන ආධාර යටතේ හබරණ – වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර සහ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර කඩිනමින් නිම කිරීම මෙම ගිවිසුමට ඇතුළත් බව ජපාන තානාපතිවරයා සඳහන් කළේය. පසුගියදා අවසන් වූ කැලණි ගඟ නව පාලමේ ඉදිකිරීම් ව්‍යාපෘතියට අදාළ ගෙවීම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මෙම හමුවට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Nayoki Kamoshida, ජපාන තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් Ohashi Kenji සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරු සහභාගී වූහ.