පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් ලැබුණු පැමිණිල්ලක් මත රාජාංගණ යාය 14 ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදි රුපියල් කෝටි හයකට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ රාජාංගණයාය 14 ප්‍රදේශෙය් පදිංචි 45 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.
පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරු නිලධාරීන් අදාළ නිවස වටලා සිදුකළ සෝදිසි කිරීමේදි නිවසේ ආරක්ෂිත යකඩ ගබඩා තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 202ක ප්‍රමාණය මෙසේ සොයා ගත්තේය.
මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගත් සැකකරු සමඟ දීර්ඝ කාලයක් මෙම ජාවාරම සිදුකර ඇති බවට විමර්ශනවලින් හෙළිවූ බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක සිට මෙලෙස ඉන්දියාවෙන් රැගෙන එන නීති විරෝධි කේරළ ගංජා මහා පරිමාණයෙන් බෙදාහැරීමේ කටයුතුවල නිරත වී ඇති බවත් එයින් මේ වන විට රුපියල් කෝටි ගණන් වටිනා වත්කම් ප්‍රමාණයක් උපයාගෙන ඇති බවත් පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයට පැමිණිලි ලැබී තිබූ බව ද පොලිසිය සඳහන් කරයි.
වැටලීම සිදුවන අවස්ථාවේදී පලා ගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පරීක්ෂණ ආරම්භ කර තිබේ.කේරළ ගංජා තොගය සඟවා තිබූ නිවස වටා විශාල තාප්පයක් ගසා ආවරණය කර ඇති අතර සීසීටීවි කැමරා පද්ධතිවලින් නිවසට විශේෂ ආරක්ෂාවක් සපයාගෙන තිබූ බව කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකා අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත මහනුවර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශේධ ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල වැඩ බලන සහකාර පොලිස් අධිකාරි ඒ.පී.සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් පුත්තලම කඳවුරු අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.එස්.පුෂ්පකුමාර මහතා සමඟ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක එච්.ඒ.එම්.ඒ.විජේරත්න මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්.කේ. රත්නායක සැරයන්වරුන් වන (39890) කුමාර. (903) අබේසිංහ කොස්තාපල්වරුන් වන (90719) විජේසිරි, (93093) සෝමරත්න, (3037) සමන්, ඇතුළු නිලධාරීන් වැටලීමට එක්ව තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු හා කේරළ ගංජා තොගය රාජාංගණ පොලිසියට භාර දී තිබූ අතර සැකකරුවන් නොච්චියාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.