By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
  • දේශීය
  • විදේශීය
  • ආර්ථික
  • දේශපාලන
  • ක්‍රීඩා
  • තාක්ෂණ
Saturday, May 17, 2025
Day2day
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Reading: ජනතාව වෙනුවෙන් දුක් විඳින්න මා සූදානම්
Day2dayDay2day
Font ResizerAa
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Search
  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම
Follow US
© Foxiz News Network. Ruby Design Company. All Rights Reserved.
Day2day > Blog > දේශපාලන > ජනතාව වෙනුවෙන් දුක් විඳින්න මා සූදානම්
දේශපාලන

ජනතාව වෙනුවෙන් දුක් විඳින්න මා සූදානම්

Last updated: August 26, 2024 5:00 pm
8 Min Read
Share

ජනතාව ජීවත් කරවීම යනු ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන හෙයින් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මඩකළපුව සහ දඹුල්ල මැතිවරණ ප්‍රචාරක රැලි අමතමින් පෙරේදා (24) පැවසීය.

ජනතාවට ආහාර ලබාදී ඔවුන් දුකින් මුදා ගැනීමේ වගකීම සහ යුතුකම ජනාධිපතිවරයා ලෙස තමාට පැවරී තිබෙන බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මඩකළපුව ශිවානන්දා ක්‍රීඩාංගණයේදී සහ දඹුල්ල බස් නැවැතුම්පොළේදී මෙම ජන රැලි පැවැත්වුණු අතර විශාල පිරිසක් ඊට සහභාගි වූහ.

ලොව වෙනත් කිසිම රටක් මෙතරම් වේගයෙන් බංකොලොත්බවින් මිදී නැතැයි ද රංජිත් මද්දුම බණ්ඩාර, හරිනි අමරසූරිය වැනි අයට අවශ්‍ය වූයේ යන ක්‍රමය නතර කරන්නට යැයිද කී ජනාධිපතිවරයා මැතිවරණයේදී එවැනි අය අතුගා දැමිය යුතු බව සඳහන් කළේය.

තමාගේ එකම අරමුණ ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීම බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ අනාගතය සුරක්ෂිත කරගන්න නම් ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දිය යුතු බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මේ වේදිකාවේ මගේ ගුරුවරයකු ඉන්නවා. රාජකීය විද්‍යාලයේදී 12 -13 වසරවල ඉගැන්වූ ශිවලිංගම් මහතා මෙහි සිටිනවා. 1961 කාලේ ඔහු මට ඉගැන්නුවා. මට පමණක් නොව දිනේෂ් ගුණවර්ධන අගමැතිතුමාටත් එතුමා ඉගැන්නුවා. ඉතින් රට ගොඩගැනීමේ ගෞරවයෙන් කොටසක් එතුමාටත් දිය යුතුයි. අනුර බණ්ඩාරනායක හිටපු කථානායකතුමාටත් මලික් සමරවික්‍රමටත් ඔහු ඉගැන්නුවා. මුළු කැබිනට් එකටම වගේ එතුමා ඉගැන්නුවා.

ඇතෑන්ස් අධිරාජ්‍යයාගේ ඉතිහාස කතාව පිළිබඳ එකල රාජකීය විද්‍යාලයේදී අපට ඉගැන්නුවා.

යම්කිසි බියගුලු ක්‍රියාවකින් හෝ අප සමඟ දුක් විඳින අනෙක් අය අතහැර දමා පැන ගොස් අපේ නගරයට අවමානයක් ගෙනත් නොදෙන බව එම ඉතිහාස කතාවේ කියවෙනවා.

2022දී වෙන කවුරුවත් නොමැති වූ විට මා අභියෝගය භාර ගත්තේ ඒ පුහුණුවීම තිබූ නිසයි. ඒ ඔබගේ අයිතිය වෙනුවෙන් සටන් කරන්නයි. ඔබට සහන ලබා දෙන්නයි. තරුණ පරපුරට අනාගතයක් ලබා දෙන්නයි.

රටේ ස්ථාවරභාවය ලබා ගැනීමටයි. එමෙන්ම රට නිවැරදි මාවතට යැවීම සඳහායි. අප පුළුවන් ශ්‍රී ලංකා යනුවෙන් කියන්නේ ඒකයි.

මම අමාරු කාලයේ අභියෝගය භාර ගත්තා. විපක්ෂ නායකතුමාට මේ ගුරුතුමා හිටියේ නෑ. ඒ නිසා අත්දැකීම් නැතිව ඔහු පැනලා ගියා. හරි නම් විකල්ප අගමැති විය යුත්තේ විපක්ෂ නායකයි. ඔහුට ජනතාව රකින්න යුතුකමක් තිබෙනවා.

ජනතාව දුක් විඳින විට ඔහු කළේ දුව ගොස් හැංඟීමයි. ඔහු පෝලිම් ගැන ජනතාවගේ බඩගින්න ගැන හිතුවේ නැහැ. ජනතාව දුක් විඳින විට ඔහු පැනලා ගියා. ඔහු දුව ගොස් අවසන් කළේ පැරිස් ඔලිම්පික් එකෙන්.

මගේ මිත්‍ර අනුර කුමාරත් හොයාගන්න බැරි වුණා. මේ ඇමැතිවරු මා සමඟ හිටියා. අප මූල්‍ය අරමුදලට ගියා. දුෂ්කර තීන්දු ගන්න වුණා. ඒවා පහසු තීරණ නොවේ. අපට දේශීය ණය ගැනීම සීමා වුණා. මුදල් අච්චු ගහන්න බෑ.

වියදම් සඳහා ආදායම් හොයන්න වැට් වැඩි කරන්න සිදු වුණා. ආදායම් සීමා කළා. මේවා ලේහෙසි පහසු තීරණ නොවේ.

අවසානයේ ජනතාවත් ඒ බර භාර ගත්තා. මා ඔබ සැමට ස්තුති කරනවා.

අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් ඩොලර් බිලියන 13ක් නැති වී ගියා.

අප ගත් පියවර නිසා එම ආදායම ඩොලර් බිලියන 89ක් බවට පත්වුණා. එමඟින් රුපියල ශක්තිමත් වුණා. අප අස්වැසුම දුන්නා. සමෘද්ධියට අප වියදම් කළේ රුපියල් බිලියන 60යි. 16 ලක්ෂයකට එම සහනය ලැබුණා.

අස්වැසුමට අප බිලියන 183ක් වියදම් කරනවා. මේ වසරේ ලක්ෂ විසි හතරකට එම සහනය ලැබෙනවා. වකුගඩු රෝගීන්ගේ ආබාධිත දීමනා සියයට පනහකින් වැඩි කළා.

නොමිලේ සහල් දීම සඳහා රුපියල් බිලියන 11ක් වියදම් කළා.

මේවා අප දුන් සහන. රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් දහ දහසක් බවට පත් කළා. 2025 පාදක වර්ෂය ලෙස රුපියල් 25,000ක ජීවන වියදමක් ලබා දීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබෙනවා.

ආරම්භක මාසික වැටුප ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000 බවට පත් කරනවා.

විශ්‍රාම වැටුප් සඳහා රුපියල් 3000ක අන්තර් කාලීන දීමනාවක් දුන්නා. වැඩිහිටි ස්ථාවර ගිණුම් සඳහා පොලී අනුපාතය රුපියල් ලක්ෂ දහයට වැඩි නම් පොලිය සියයට දහයක් බවට පත්කළා. පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 5000ක් බවට පත් පත්කළා. පාසල් දියුණු කළා. උරුමය වැඩසටහන යටතේ අප දැන් සියලු දෙනාට සින්නක්කර ඔප්පු දෙනවා.

ලක්ෂ විස්සකට ඒ සහනය ලැබෙනවා. තට්ටු නිවාස ලක්ෂ දෙකහමාරකට ලැබෙනවා. වතුකරය සඳහා ඉඩම් අයිතිය ලබා දෙනවා. ලක්ෂ 25කට ඒ අයිතිය දෙනවා. උරුමය ඉඩම් ඔප්පු වැඩසටහන අරඹා තිබෙනවා. ඡන්දය නිසා එය නතර කර තිබෙනවා.

ඒ සඳහා වෙනම අධිකාරියක් ස්ථාපිත කොට ඊළඟ වසර තුනේදී එය ක්‍රියාත්මක කරනවා.

අවුරුදු දෙකක් ඇතුළත සාමාන්‍ය ආණ්ඩුවකට කරන්න බැරි වැඩක් අප කර තිබෙනවා.

මා මෙහි සිටින කාන්තාවන්ගෙන් ප්‍රශ්නයක් අහන්නම්. 2022 ජූලි මාසයේ සිට මේ වනතෙක් රතු පරිප්පු මිල සියයට 41කින් අඩුවී තිබෙනවා. තිරිඟු පිටි සියයට 29කින්ද කුකුළු මස් මිල සියයට 11කින්ද අඩුවී තිබෙනවා.

ඩීසල් මිල සියයට 28කින් අඩුවී තිබෙනවා. ගෑස් මිල සියයට තිස් එකකින් අඩුවී තිබෙනවා. බස් ගාස්තු රුපියල් හතළිහේ සිට 28 දක්වා අඩුවී තිබෙනවා. ගෑස් රුපියල් 5370 සිට 3600 දක්වා අඩු වී තිබෙනවා. ජීවන බර අඩුවී තිබෙනවා.

ගෑස් සිලින්ඩරය මගේ ලකුණ හැටියට ගත්තේ ඒකයි.

ජීවන බර සඳහා අප ලබා දී ඇති සහනවලට වඩා තවත් සහන අවශ්‍ය බව මේ කාන්තා පරපුර දන්නවා. ජීවන වියදම අඩු කරන්න නම් අප තවත් රුපියල ශක්තිමත් කළ යුතුයි. 2025 වන විට ඒ ශක්තිය ඇතිකොට තවත් සහන ලබා දෙනවා.

අවුරුදු දෙකක් මේ කටයුතු කළ නිසා තව වසර දෙක තුනකින් මේ සහන ලබා ගැනීම මට ප්‍රශ්නයක් නොවේ.

අපට දැන් භාණ්ඩ ආනයනය කරන්න පුළුවන්. ඖෂධ ලැබෙනවා. අප නැවත අපනයන කර්මාන්තය ක්‍රියාත්මක කරනවා. සංචාරක කර්මාන්තය දියුණුවට පත් කරනවා. වෙරුගල් සිට මඩකළපුව දක්වා අප සංචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කරනවා. පොඩි හෝටල් වගේම ලොකු හෝටල්ද දානවා.

එමෙන්ම අම්පාරේ කල්මුණේ සිට අරුගම්බේ දක්වා දියුණු කරනවා. එමෙන්ම අප මෙහි කෘෂිකර්ම නවීකරණය ක්‍රියාත්මක කරනවා. ධීවර නවීකරණය ක්‍රියාත්මක කරනවා. ගෙදර ආදායම වැඩිකර දෙනවා. එමෙන්ම කල්කුඩා දියුණු කිරීමට කටයුතු කරනවා.

අප ණය ගත් මූල්‍ය අරමුදල ඇතුළු සංවිධාන සහ රටවල් දාහතක් සමඟ අප ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ බංකොලොත්භාවයෙන් පිටවීම සඳහායි. අපේ ණය ගෙවීමට ඒ අය 2042 දක්වා කාලය ලබාදී තිබෙනවා. එපමණක් නොව අපට ඩොලර් බිලියන දහයක සහනයක් ලබා දී තිබෙනවා. මෙය අප ඉදිරියට ගෙන යා යුතුයි.

මෙය වෙනස් කරන බව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයා කියනවා. මේ ගිවිසුම් වෙනස් කරන්න බැහැ. ගිවිසුම් වෙනස් කළොත් ආධාර ලබා දෙන එක නතර කරාවි. එවිට රුපියල කඩා වැටෙනවා. රුපියල ඩොලරයට හාරසීයක් විතර වේවි. නැවත පෝලිම් යුගයක් ඇතිවේවි. ගෑස් නැති වේවි.

මේ රට ගෙනියන හැටි ඔහුට තේරෙන්නේ නැහැ. අප මේ වැඩ කටයුතු කරද්දී කිසිවෙක් අපට ආධාර කළේ නැහැ. මට 2023 ඡන්ද කරන්න සල්ලි තිබුණේ නැහැ. මම ඒවායින් ජනතාවට සහන දුන්නා.

ඔවුන් මම ඡන්දෙ තියන්නේ නැතැයි උසාවියට ගිහින් නඩු දැම්මා. මේ ප්‍රශ්න මැද ඡන්දයක් තිබුණා නම් මොකද වෙන්නේ. මාස තුන හතරක් නිකරුණේ කාලය යොදවන්න සිදුවෙනවා. 2023 දවස් 365ම මට අවශ්‍ය වුණා. ඒ කාලයේ පැය 24ම අවශ්‍ය වුණා. පෝලිම් නැති වුණේ රට දියුණු වුණේ ඒ කැප කිරීම නිසයි. කිසිම රටක් මෙතරම් වේගයෙන් බංකොලොත්බවින් පිටවුණේ නැහැ. අප තමයි එය කළේ. ඒ අයට අවශ්‍ය මේ ක්‍රමය නවත්වන්නයි. ඔවුන්ට අවශ්‍ය උසාවියට ගිහින් තහනම් නියෝගයක් ගන්නයි.

අවසානයේ උසාවියෙන් මට විරුද්ධව තීන්දුවක් ගත්තා. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා.

ජනතාව ජීවත් කරවන එක මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නෙමෙයි. ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න මම ලෑස්තියි. මගේ යුතුකම තිබෙන්නේ ජනාධිපති ලෙස ජනතාවට ආහාර ලබාදීමයි. ඔවුන් දුකින් මුදා ගැනීමයි. ජනපති හැටියට මට ඊට වගකීමක් තිබෙනවා.

ඒ නිසා මම කරන්නේ එක ඉල්ලීමයි. ඔබේ අනාගතය ආරක්ෂා කර ගන්න රට ගොඩනඟන්න. සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරය ළඟින් කතිරේ ගහන්න. නැතිනම් ඔබට ගෑස් සිලින්ඩර් නැතුව ජීවත් වෙන්න සිදුවේවි.

More Read

ප්‍රදේශ කිහිපයකට වැසි
මංගල අයවැය රැගෙන ජනපති පාර්ලිමේන්තුවට
අද සිට දෛනික විදුලි කප්පාදුවක් නැහැ
ආදරවන්තයින්ගේ දිනයට කලින් පොලීසියෙන් ඔවදනක්
ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
TAGGED:PoliticalPresidential ElectionRanil WickramasingheSri LankaTop Story
Share This Article
Facebook Twitter Email Copy Link Print
Leave a comment Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Subscribe Now

Subscribe to our newsletter to get our newest articles instantly!

Sport News

  • දේශීය
  • විදේශීය
  • ක්‍රීඩා
  • දේශපාලන
  • ආර්ථික
  • තාක්ෂණ
  • ව්‍යාපාරික
  • ලෝක දැනුම

Socials

Facebook Twitter Youtube Tiktok

Company

  • About Us
  • Contact Us
  • Blog
  • Privacy Policy
  • Advertise with us
  • Newsletters
  • Deal

Developed by Team Day2Day.

Welcome Back!

Sign in to your account

Lost your password?