නිසි දැක්මක් සහ වැඩපිළිවෙළක් නොමැති බලය ලබා ගැනීමට පමණක් උත්සාහ කරන පිරිසකට මේ අවස්ථාවේ රට භාරදුනහොත් රටේ විනාශය වළක්වා ගත නොහැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (24) පස්වරුවේ දඹුල්ල බස්නැවතුම්පොළ භූමියේදි පැවති “පුළුවන් ශ්රී ලංකා” දඹුල්ල විජයග්රාහී ජන රැලිය අමතමිනි.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කිසිවෙකු භාර ගැනීමට අකමැති වු රට භාර ගත් තමා ජනතාවගේ ජිවත් වීමේ අයිතිය සුරැකීම වෙනුවෙන් කැප වෙද්දි, මැතිවරණ ඉල්ලමින් අධිකරණයට ගිය පිරිසගේ පරමාර්ථය ජනතාව පීඩාවෙන් මුදා ගැනීම නොව තම බලය තහවුරු කර ගැනීම බවය.
එසේම තමා එදා මැතිවරණ පැවැත්වීමට මුදල් වැය කළානම් අද රටේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒමට නොහැකි වන බව ඔහු කියා සිටියා. එමෙන්ම ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරැකීම මුලික අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස සලකනවා නම් තමන් ඊට මුහුණදිමට සුදානම් බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියා.