රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍ය බැවින් මුස්ලිම් ප්‍රජාව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව මුස්ලිම් මන්ත්‍රීවරු පවසති.
කොළඹ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට ඊයේ (21) එක්වෙමින් ජනාධිපතිවරයාට සහාය පළ කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් සඳහන් කළේ මෙරට මුස්ලිම් ප්‍රජාවගෙන් 60%ක් මෙවර මැතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව ඡන්දය භාවිත කරන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා,
එළඹෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක්. මේ මැතිවරණයේදී මුස්ලිම් ජනතාව හා මුස්ලිම් ප්‍රජාව ඔවුන්ගේ සිතුම් පැතුම් හා අපේක්ෂා පිළිබඳවත් රනිල් වික්‍රමසිංහ මහතා අද වෙනතුරු ගෙනගිය වැඩසටහන පිළිබඳවත් විශ්වාසය තබනවා. විශේෂයෙන්ම අප ඉතාමත්ම සන්තෝස වෙනවා මේ මැතිවරණය පසුගිය මැතිවරණවලට සාපේක්ෂව මිනිස්සු ජාති, ආගම් ගැන මහ ලොකුවට කතා කරන්නේ නෑ. හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ සියලු ශ්‍රී ලාංකිකයන් සාමයෙන් සමෘද්ධියෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කර ගැනීමයි.
මුස්ලිම් ප්‍රජාව හැටියට අප දකින දෙයක් තමයි, අපට සාමය අවශ්‍යයි. රටේ සියලු දෙනාට බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අවශ්‍යයි. වෙළෙඳ ප්‍රජාවට ආර්ථිකය තමයි වැදගත්ම දේ. ආර්ථිකය කඩන් වැටුණොත් ඔවුන්ගේ සම්පූර්ණ ජීවන ක්‍රමය කඩන් වැටෙනවා. ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සීමා වුණොත් වෙළෙඳ කටයුතු කර ගන්න බැරි වෙනවා. ඒක විශාල වශයෙන් ආර්ථිකයට බලපානවා. ඊට පස්සේ වැදගත්ම දේ වෙන්නේ භූමිය තුළ සියලු දෙනාටම සමානව ජීවත් වීමේ හැකියාව ලබාදීම. පහුගිය අවුරුදු දෙකට සාපේක්ෂව අද ලංකාව තිබෙන දිශානතිය දිහා බලලා විශාල වශයෙන් මුස්ලිම් ජනතාව කැමැත්තෙන් ඉන්නවා ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ පිළිබඳ. රනිල් වික්‍රමසිංහ වතාවක් නෙවෙයි දේවතාවක් කඩා වැටුණු ආර්ථිකය ගොඩනඟලා පෙන්නුවා. 1999 ලංකාවේ ප්‍රථම වතාවට යුද්ධය මධ්‍යයේ ලංකාවේ ආර්ථිකය සංකෝචනය වුණා. 2001දී රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව භාරගෙන 2004 වෙනකන් අගමැතිවරයා හැටියට ආර්ථිකය ගොඩ ගත්තා.
2022දී වෙන කාටත් භාර ගන්න බැහැ කියපු අවස්ථාවක අවසාන වශයෙන් හැමෝම කරඇරපු වෙලාවක ජනාධිපතිතුමා භාර අරගෙන අද වෙනකොට ආර්ථිකය යථා තත්ත්වයට පත් කරලා තියෙනවා. එම නිසා අපේ සමාජය තුළ මේ අත්දැකීම් ඇති නායකයා මේ කරගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න කවුරුත් කැමැති නැහැ. ඇයි අප තවත් අත්හදා බැලීම් කරන්නේ. ඒ නිසා එතුමාට මේ පාලනය භාර දිය යුතුයි. අප නියෝජිතයන් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකතු වෙලා ජනාධිපතිවරයාට සහාය පළ කරනවා.