සජබ සාමාජිකත්වය සහ මන්ත්‍රී ධුර වලින් ඉවත් වූ මනූෂ නානායක්කාර මහතා සහ හරීන් ප්‍රනාන්දු මහතා අද (2024/08/09) මාධ්‍ය සාකච්ඡාවකට එක්ව ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරනු ලැබුවා.
එහිදී අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියේ, වසර දෙකකට පෙර පැවති අරගලය හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට ඔවුන් තීරණයක් නොගත්තානම් ලංකාවටත් අද බංග්දේශයට අත් වූ ඉරණම සිදුවෙන බවයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ එතුමා පවසා සිටියේ තෙල්, ගෑස් නැතිව පෝලිම්වල හිඳිමින් දුක් විඳපු අවස්ථාවේ විපක්ෂයක් ලෙසට මුලින්ම ජනතාව වෙනුවෙන් හඬ නැගීමට ඔවුන් කටයුතු කළ බවයි.
සංචාරක කර්මාන්තය හා තරුණ තරුණියන්ට රැකියා ලබාදෙමින් අමාත්‍ය ධුර භාරගනිමින් ඩොලර් මිලියන ගණනින් ඉපයීමට ඔවුන්ගේ අමාත්‍යාංශ සමත් වූ බවද මෙහිදී මනූෂ නානායක්කාර මහතා පවසා සිටියා.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ එතුමා කියා සිටියේ ඔවුන් රට වෙනුවෙන් දැවැන්ත වැඩ කොටසක් සිදුකළ බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කිරීමෙන් ශ්‍රී ලංකාව තවදුරටත් සංවර්ධනය වන බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ, “ජීවිතයේ දේශපාලනය කියලා කියන්නේ කටු ඔටුන්නක්. මටවත් මනූෂටවත් මෙතනින් බැහැලා යන්න කිසි දුකක් නෑ . අපි විශ්වාස කරනවා අපි කරන්න ඕන හැමදේම කරල තමයි මෙතනින් බැහැලා යන්නේ කියලා.”
තවදුරටත් මේ පිළිබඳව අදහස් දැක්වූ හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ ඔවුන් සජබ නාමය ගොඩනැගීමට කටයුතු කළ බවත් අද වන විට සමගි ජන බලවේගය හොරු ලංකරගෙන සිටින බවත්ය.
අද වන විට ලංකාවේ නීතියට ගරු කරන උසාවියට බලපෑම් නොකරන ජනාධිපතිවරයෙක් සිටින බවත් හරීන් ප්‍රනාන්දු මහතා නිර්පාක්ෂිකව රට ගොඩනගන සටනට රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වන බවත් මෙහිදී ප්‍රකාශ කර සිටියා.