මෙරට ප්‍රසිද්ධ ෆිනෑන්ස් ආයතනයක දත්ත පද්ධතියට අන්තර්ජාලයෙන් අනවසර ප්රවිශ්ටයක් වී රුපියල් කෝටි 05ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළ මැණික් ව්‍යාපාරිකයා සහ විශ්වවිද්‍යාල සිසුවා ඇතුළු තිදෙනකු ලබන 08 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (01) නියෝග කළේය.
මෙම සැකකරුවන් වංචා කළ මුදල් නැවත ලබා දෙන්නේ නම් ඇප නියම කළ හැකි බව මෙහි දී අධිකරණය සැකකරුවන්ට දැනුම් දුන්නේය.
මෙහි මැණික් ව්‍යාපාරික සැකකරු තම බැංකු ගිණුම මඟින් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් ද විශ්වවිද්‍යාල සිසුවා රුපියල් එක්ලක්ෂ හැට දහසක මුදලක් ද සිය බැංකු ගිණුම්වලට තැන්පත් කරවා ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ අදාළ ෆිනෑන්ස් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු තිසල් මහීන් රාජන් නමැත්තාය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක වේරගම සහ පොලිස් කොස්තාපල් (18913) අරුණ ශාන්ත යන නිලධාරීහු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළහ.