මැතිවරණයට අදාළ ආරක්ෂක කටයුතු සහ පොලිසියේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාව පත් කර තිබෙන බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද කටයුතු කිරීමේ පොලිස් බලධාරියා ලෙස පත් කර ඇත්තේ ද අසංක කරවිට මහතාය.
අමෙරිකාවේ ජනපති අපේක්ෂක ඩොනල් ට්‍රම්ප් මහතාව ඉලක්ක කරගෙන එල්ල වුණු ප්‍රහාරයත් සමඟ ඉදිරි මෙරට ජනාධිපතිවරණයේදී අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විශේෂ අවධානයක් යොමු කරනු ලැබීය. ඒ අනුව ගත් කැබිනට් මණ්ඩල තීරණයකට අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනු ලබන අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට පොලිසිය විශේෂයෙන් කටයුතු කරනු ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාව එම කටයුතු මෙන්ම මැතිවරණයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ක්‍රියා කිරීමට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීමට මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද මැතිවරණයට අදාළ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද වශයෙන් මෙහෙයුම් මධ්‍යස්ථාන දෙකක් ස්ථාපිත කිරීමට නියමිතව ඇති බව ද පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කළේය.
අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීමේ මෙහෙයුම් මධ්‍යස්ථානය මහජන ආරක්ෂක අමාත්‍යාංශය පිහිටි සුහුරුපාය ගොඩනැඟිල්ලෙහි ස්ථාපිත කිරීමටත් මැතිවරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීමේ මෙහෙයුම් මැදිරිය සුපුරුදු ලෙස පොලිස් මූලස්ථානයේත් ස්ථාපිත කිරීමට ඒ අනුව කටයුතු කෙරෙමින් පවතින බව ද පොලිස් මූලස්ථාන තොරතුරු වැඩිදුරටත් සඳහන් කළේය.