වරදක් නැති දික්කසාද (No fault divorce) නමින් නව නීතියක් හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
මේ සතියේ පාර්ලිමේන්තුව අමතමින් අධිකරණ අමාත්‍යවරයා කියා සිටියේ දැනට පවතින දික්කසාද නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බැවින් නව නීතිය හඳුන්වා දෙන බවයි.
නව පනත් කෙටුම්පත මගින් දික්කසාද නඩු සම්බන්ධයෙන් විවාහය නැවත ස්ථාපිත කිරීමට නොහැකි ලෙස බිඳී ගොස් ඇති බව ඔප්පු වූ විට දීර්ඝ නඩු විභාගයකින් තොරව තීන්දුවක් ලබා දීමට අධිකරණයට බලය පැවරෙනු ඇත.
දික්කසාද නඩු සම්බන්ධයෙන් විදේශීය අධිකරණවල ලබාදෙන තීන්දු ශ්‍රී ලංකාවේ අධිකරණවල පිළිගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් සිටින බවද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
අනෙක් පාර්ශවය සංක්‍රමණය වී ඇති බැවින් වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් දික්කසාද නඩුවලදී ප්‍රායෝගික ගැටලු මතුව ඇති බව පෙන්වා දුන් ඔහු, පසුගියදා සම්මත වූ සිවිල් නඩු විධාන සංග්‍රහයේ (සංශෝධන) පනත් කෙටුම්පත අදාළ ගැටලුව විසඳීමට ඉවහල් වන බව පැවසීය.
විද්‍යුත් තැපෑල සහ වට්ස්ඇප් වැනි විද්‍යුත් මාධ්‍ය හරහා වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමේ විධිවිධාන වලින් එම පනත් කෙටුම්පත සමන්විත බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.