මේ වසරේ ජුනි මාසයේදී වසර 3ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය ඇප නියම කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප නියම කරනු ලැබුවේ හිටපු මන්ත්‍රීවරිය විසින් ගොනු කර තිබූ ඇප ඉල්ලීම අද සළකා බැලීමෙන් අනතුරුවය.
2015 වසරේ දෙමටගොඩදී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් වසර 3ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ ජුනි මාසයේදීය.
2015 දෙසැම්බර් 21 වැනිදා කළු පැහැති ඩිෆෙන්ඩර් ජීප් රථයකින් දෙමටගොඩට පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් පහරදුන් බවට වින්දිත අමිල ප්‍රියංකර ගොනුකළ නඩුව සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.