යාපනයේ ඩෙල්ෆ් දූපතට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු සහ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 03ක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවට අනුව ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා වැලැක්වීම සඳහා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
විදේශීය ධීවර යාත්‍රා වල නීතිවිරෝධී මසුන් ඇල්ලීමේ ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නිරන්තර මුර සංචාර සහ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරනු ලබන්නේ දේශීය ධීවරයින්ගේ ජීවනෝපාය කෙරෙහි එම ක්‍රියාවලීන්ගේ බලපෑම සැලකිල්ලට ගනිමින්.
මෙම ප්‍රයත්නවල කොටසක් ලෙස උතුරු නාවික විධානය විසින් ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වන ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පිරිසක් පලවා හැරීම සඳහා නාවික හමුදාවේ සහ වෙරළාරක්ෂක බළකායේ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඇත.
මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා 03 සහ ඉන්දීය ධීවරයින් 13 දෙනා කන්කසන්තුරේ වරායට රැගෙන ඒමෙන් පසු නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක වෙත භාර දීමට කටයුතු කෙරිණි.
මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 වසරේ මේ දක්වා ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 35ක් සිය භාරයට ගෙන ඇති අතර ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 252 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.