මහනුවර අපරාධ විමර්ශන ඒකකය ඊයේ රාත්‍රියේ මහනුවර හල්ලොළුව ප්‍රදේශයේ නිවසක් වටලා සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දීය ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් භාවිත කළ උපකරණද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ අතර සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැක කෙරෙන ඉන්දීය ජාතිකයින් 12 දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායම අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
වැටලීමේදී ඩෙස්ක්ටොප් පරිගණක 22ක්, ලැප්ටොප් පරිගණක හතරක්, නවීන තාක්ෂණයෙන් යුත් නවීන ජංගම දුරකථන 50කට අධික සංඛ්‍යාවක්, ATM කාඩ්පත් එකොළහක් සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
ඔවුන් මෙම නිවස මසකට රුපියල් ලක්ෂ 3කට කුලියට ගෙන ඇත්තේ රහසිගතව කටයුතු කිරීම සඳහා බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඔවුන් අන්තර්ජාලය හරහා වෙනත් පරිගණක අපරාධ ඇතුළු ජාත්‍යන්තර මට්ටමේ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට සැක කෙරෙන අතර ඔවුන් පිළිබඳව විමර්ශන සිදු කෙරේ.
ඔවුන් ආහාර පිළියෙල කිරීම සඳහා ඉන්දීය අරක්කැමියන් දෙදෙනකු යොදවා ගෙන ඇති බවත්, කණ්ඩායමේ කිසිවකුට දිවා කාලයේ පිටතට යාමට අවසර නොදුන් බවත් අනාවරණය විය.
සැකකරුවන් ඉදිරි කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට කටයුතු කෙරිණි.