වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා අද (26) දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් කොළඹදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.
එමෙන්ම, රජයේ විධායක නිලධාරීන්ගේ එකමුතුව අසනීප නිවාඩු වාර්තා කරමින් ඊයේ (25) දීපව්‍යාප්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළ අතර, ඔවුන් ඊයේ දහවල් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග පැවැති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද දිනයේදීද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එම එකමුතුවේ විධායක කමිටු සාමාජික එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ.
කෙසේ වෙතත් මීට සමගාමීව ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය අද ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හැර දැමුණේ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
එහෙත් විධායක නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට රාජ්‍ය ඉංජිනේරු, කෘෂිකර්ම, දේශීය ආදායම් සේවය, ගණකාධිකාරී ඇතුළු සේවා 18ක සාමාජිකයින් එක්ව සිටියා.
ඒ හේතුවෙන් විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය ආයතන රැසක සේවාවලට ඊයේ දිනයේ බාධා එල්ල වීම හේතුවෙන් රාජකාරි ඉටුකරවා ගැනීමට පැමිණි ජනතාව පත්වුණේ දැඩි අපහසුතාවකටයි.
මේ අතර, ඊයේ දහවල් විධායක නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරතවූ අතර, එහිදී අතිරේක ලේකම්වරියක් සමග ඔවුන්ට සාකච්ඡාවක්ද ලබාදී තිබුණා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 55ක් ගතවුවද මෙතෙක් විසඳුම් නොලැබීම හේතුවෙන් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා.